FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ තරග තහනම බොරුවක්- අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරග තහනමක් පනවා ඇති බවට වාර්තා වන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

කුසල්ගේ ‘බී’ සාම්පල පරීක්ෂාවේද තහනම් උත්තේජක අඩංගු බවට තහවුරු වී ඇති නමුත්, ඔහුට තවමත් තරග තහනමක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (27දා) වනවිටත් නිවේදනයක් නිකුත් කර නොතිබිණි.

කෙසේ නමුත් තහනම් උත්තේජක චෝදනා එල්ල වීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන තරගාවලිය ක්‍රීඩා කිරීම කුසල්ට තහනම් කර ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

කුසල් පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වා සිටි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය හා සාකච්ඡා කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර යම් ක්‍රීඩකයෙකු ‘බී’ සාම්පල පරීක්ෂාවෙන්ද වරදකරු වුවහොත් ඔහුට ලැබෙන තහනම පිළිබඳව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව ඉදිරියේදී කුසල්ගෙන් මේ පිළිබඳව තොරතුරු විමසනු ඇති බවයි.

එය ඩුබායිහි පිහිටුවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයට කැඳවීමෙන් හෝ අන්තර්ජාලය හරහා සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමෙන් සිදුකළ හැකි බවද ඔහු කීය.

එසේ කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහුගේ තරග තහනම පනවනු ඇති බවත්, තරග තහනමේ උපරිම කාලසීමාව වසර හතරක් වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

තරග තහනම ලබාදිය හැකි අවම කාලය පිළිබඳව සඳහන් කළ නොහැකිවුවද, එය බොහෝවිට අවුරුදු දෙකක් විය හැකියැයි ඔහු පැවසීය.

තමාට ලබාදෙන තරග තහනම පිළිබඳව විරෝධතා දක්වමින් කිසියම් වූ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවටද පිවිසිය හැකිනමුත්, එහිදී තහනම් උත්තේජක සඳහා වරදකරුවෙකුට ලබාදුන් තරග තහනමක් අඩුකිරීමට පවතින්නේ අඩුම ඉඩක් බවත්, ඇතැම්විට ඔහුට හෝ ඇයට පනවා ඇති කාලසීමාව ඊට වඩා වැඩි විය හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.