තහනම් උත්තේජක ශරීරගතව ඇති බවට වාර්තාවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ කුසල් ජනිත් පෙරේරාගේ ‘බී’ සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත බව ඔප්පුවී ඇතැයි වාර්තා වේ. මේ බව නිල වශයෙන් සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියකු මේ දක්‌වා කටයුතු නොකළද ඊයේ (24)ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් මේ බව සනාථ කෙරිණි.
තහනම් උත්තේජක පරික්‍ෂාව සඳහා ක්‍රීඩකයකුගේ මුත්‍රා ලබාගන්නා අවස්‌ථාවේදී නියෑදි දෙකක් ලබාගන්නා අතර එහිදී එක් නියෑදියක් පළමුව පරික්‍ෂාවට ලක්‌කරයි. එහි තහනම් උත්තේජක ඇති බවට පෙනී ගියහොත් අදාළ ක්‍රීඩකයාට අවශ්‍යනම් ඉතිරි නියෑදිය හෙවත් ‘බී’ සාම්පලය පරික්‍ෂාකිරීම සඳහා ඉල්ලීමක් කළ හැක. ඒ අනුව කුසල්ට රසායනාගාර පරීක්‍ෂණ මට්‌ටමෙන් සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා වෙනත් අවස්‌ථාවක් නොලැබෙනු ඇති බැවින් ඔහු තරග තහනමකට ලක්‌වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ වුවහොත් මීළඟ පන්දුවාර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ අංක එකේ පිතිකරු බලාපොරොත්තුවක් අහිමිව යන මට්‌ටමක් පෙනෙන්නට ඇත.
ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ අධිකාරියේ මතයට අනුව සිය ශරීරයේ තහනම් උත්තේජක සංඝටක අඩංගුව ඇත්නම් ඒ සඳහා අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව පළමුවෙන් වගකිවයුතුය හෙවත් ‘සෙලෆ් ලයබිලිටි’ යන සිද්ධාන්තය මත කුසල්ට දඬුවමින් තොරව ගලවා ගැනීමේ හැකියාවක් නොමැති අතර එසේ කිරීමට නම් මෙම සාම්පලය ඔහුගෙන් ලබාගෙන පරීක්‍ෂණාගාරය දක්‌වා ගෙනයැම අතරතුර ක්‍රමවේදය පිළිබඳව අභියෝග කරමින් (එහි අඩුපාඩුවක් දක්‌වමින්) ජාත්‍යන්තර ක්‍රීඩා සමථකරණ උසාවියක් හමුවට ගොස් එය ඔප්පු කළයුතු වේ. නමුත් එවැන්නක් සඳහාද යම් කාලයක් ගතවන බැවින් ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා කුසල්ගේ සහභාගීත්වය පිළිබඳ ඇති සම්භාවිතාව අවම අගයක් වනු ඇත.
මෙම තත්ත්වය මත කුසල් හට ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව හමුවට ගොස් සාධාරණ කරුණු දැක්‌වීමක් කර හෙවත් මෙය තමා විසින් ක්‍රීඩා හැකියාවට බලපෑමක් වන සේ හිතාමතා කරන ලද්දක් නොවන බව ඔප්පු කරමින් අදාළ දඬුවම හෙවත් තරග තහනම පනවනු ලබන කාලය අඩුකරගැනීම පමණකි. එසේ නොමැතිවුවහොත් බොහෝ දුරට වසර 4ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටීමට අදාළ ක්‍රීඩකයාට සිදුවේ.
අදාළ තහනම් උත්තේජක චෝදනාව එල්ලවීමත් සමග නවසීලන්තයේ තරග සංචාරය සඳහා ගොස් සිටි කුසල් පෙරේරාව වහාම ශ්‍රී ලංකාවට කැඳවූ අතර, කූඩැලූ දෂ්ටයකට ගනු ලැබූ ප්‍රතිකාරයක් මගින් මෙම තහනම් උත්තේජකය සිය ශරීරයට ඇතුළුවන්නට ඇතැයි ඔහු පසුව ප්‍රකාශ කරනු ලැබීය.








