පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් කෙළොන්නාව ප්‍රදේශයේ තරුණයකු පෙරේදා (21) පැහැරගෙන ගොස් පහරදී නැවත මග දමා ගොස් සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඔහු දෙමටගොඩ ගුවන් පාලම අසල රෙදි අලෙවිසලක සේවය කරන අතර ඊයේ පස්වරු 2.25ට පමණ එම අලෙවිසලට කඩා වැදුණු පුද්ගලයින් හයදෙනකු ඔහුට පහරදී ඩිෆෙන්ඩර් රථයක බලෙන් නංවාගෙන ගොස් ඇත.
මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කල අතර පැහැරගත් ඩිෆෙන්ඩර් රථයේ අංක තහඩු පිළිබඳ CCTV දර්ශන මාර්ගයෙන් හෙළිකර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
එම ඩිෆෙන්ඩර් රථය පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නමට ලියාපදිංචි කර ඇති බව හෙළිවීමෙන් පසු ඒ ඔස්සේ විමර්ශන කළ පොලිසිය, පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මේ පිළිබඳව දන්වා තිබේ.
පක්ෂ කාර්යාලදී පහර දීමක් :
අනතුරුව ඊයේ රාත්‍රී 8.30ට පමණ පැහැරගැනීමට ලක් වූ තරුණයා මහමග දමා ගොස් තිබෙන අතර පසුව එම තරුණයා දෙමටගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත.
පැහැරගැනීමට ලක්වූ තරුණයා පවසන්නේ, තමන් පැහැරගත් කණ්ඩායම තමාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් කොළොන්නාවේ පක්ෂ කාර්යාලයකට ගෙන ගොස් පහරදුන් බවයි.
එම අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද එහි සිටි බවට පහරකෑමට ලක්වූ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර තිබේ.
හිරුණිකා මහත්මියගේ අනුදැනුම මත මෙලෙස කාර්යාලයට රැගෙන ගොස් පහරදී ඇති බවත්, පොලිසියේ දමා ඇති පැමිණිලි ඉවත් කරගන්නා ලෙසත්, ඇය නීතීඥවරියක් නිසා කටයුතු කළ යුතු ආකාරය ගැන ඇය හොඳින් දන්නා බවත් එහිදී පවසා ඇති බවට වාර්තා වෙයි.
අනියම් සම්බන්ධතාවයක් :
තමා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රබල ආධාරකරුවකුගේ බිරිඳ සමග සබඳතාවක් මාස හයක සිට පැවැත්වූ බවත් ඔහු දෙමටගොඩ පොලිසියට කටඋත්තරයක් දී ඇත.
අදාළ කාන්තාවගේ වයස අවුරුදු 34ක් වන බව ද එම තරුණයා පොලිසිය හමුවේ කළ පැමිණිල්ලේ සඳහන් වන අතර පහරකෑමට ලක් වූ මෙම තරුණයා ඊයේ රාත්‍රියේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක :
මේ අතර, එම පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනා හා ඊට යොදාගත් ඩිෆෙන්ඩර් රථය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
එහිදී පොලීසිය මන්ත්රීවරියගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, ඇය පවසා ඇත්තේ තමන් එම පැහැර ගැනීම සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවයි.
තමන් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සහභාගි වී සිටි බව ඇය පොලීසියට පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසිය.
සිද්ධියට අදාල CCTV දර්ශන පහතින්
[youtube url=”https://www.youtube.com/watch?v=PwzPF9bvQYE” width=”560″ height=”315″]