එච්.අයි.වී. / ඒඞ්ස් නව රෝගීන් 58 දෙනකු මේ වසරේ මුල් කාර්තුවේදී සොයාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. මෙරටින් පළමු රෝගියා සොයාගත් 1989 වසරේ සිට මේ වසරේ මුල් කාර්තුව දක්වා ඒඞ්ස් රෝගීන් 2,138 දෙනකු සොයාගත් බවත් ඉන් 340 දෙනකු මිය ගොස් සිටින බවත් ඒ මහතා පැවැසීය.
මේ වසරේ සොයාගත් රෝගීන්ගෙන් සියයට 65ක් පිරිමින් වන අතර සියයට 35ක් කාන්තාවන් බවත් ඒ අතර ළමයින් දෙදෙනකුද සිටින බවත් ලියනගේ මහතා පැවැසීය. ශ්‍රී ලංකාවෙන් සොයාගත් රෝගීන්ගෙන් ජීවතුන් අතර සිටින රෝගීන් 1,798න් රෝගීන් 900ක් ප්‍රතිකාර ගැනීමට සායනවලට පැමිණෙන බවත් සෙසු රෝගීන් කොන්වීමේ බිය හෝ විදේශ රටවලින් ප්‍රතිකාර ගන්නා බවට අනුමාන කරන බවද හෙතෙම කීවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඞ්ස් රෝග නිවාරණ වැඩසටහනට අනුව මෙරට ඒඞ්ස් රෝගීන් 3,600ක් සිටින බවට ඇස්තමේන්තු කර ඇත.
සොයා නොගත් රෝගීන් නිසා මේ මාරාන්තික රෝගය පැතිරයෑමේ දැඩි අවදානමක් පවතින බැවින් තමන්ට විශ්වාසවන්ත සහකරු හෝ සහකාරිය සමඟ පමණක් ලිංගික ඇසුර පැවැත්වීම මරණයට ළඟාවීම අවම කර ගැනීමට හේතුවන බවද ඒ මහතා පැවැසීය.
ලිංගික ඇසුර සැකසහිත පිරිමියකු හෝ කාන්තාවක සමඟ පැවැත්වූ පුද්ගලයකු තමන්ට ආසන්න හෝ දිවයිනේ ප්‍රධාන රෝහල්වල පවත්වාගෙන යන ලිංගිකාශ්‍රිත රෝග සහ ඒඞ්ස් මර්දන අංශයට පැමිණ ලේ පටලයක් පරීක්ෂා කර ගැනීමෙන් සැකය දුරු කරගත හැකි යැයිද අධ්යක්ෂවරයා තවදුරටත් සඳහන් කෙළේය.









