FAST NEWS

24×7 Around the Globe

දුම් පරීක්ෂණ ගාස්තුව තාවකාලිකව අත්හිටුවන හැටී.

පෞද්ගලික බස් රථ සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා ඊයේ (10) එකඟත්වය පළ කරනු ලැබුවා.

මෙම තීරණයට අනුව ඒකාබද්ධ කාලසටහන සහ පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය නිසිලෙස ක්‍රියාත්මක වන තුරු මෙම තාවකාලික අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරේ.

ඒකාබද්ධ කාලසටහන මෙන්ම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසුව දුම් පරීක්ෂණ ගාස්තුව තවත් වැඩි කළද තමන් අකමැති නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග හෙට (12) පවත්වන සාකච්ඡාවේදී ද වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ වන විටත් තම සංගමය වර්ජනය කිරීමේ අදහස ඉවත් කරගෙන නොමැති බවයි.

මෙම දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට නියම කරනු ලැබුවේ පසුගිය අයවැය යෝජනාවේදීයි.