FAST NEWS

24×7 Around the Globe

රුසියාව කාබනික විප්ලවයකට සැරසේ.

රුසියාවේ භාවිතා නොකර අත්හැර දමා ඇති කෘෂිකාර්මික බිම් අක්කර මිලියන ගණනක් යළි අස්වැද්දිය යුතු බව එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ 2020 වන විට රුසියාව තමන්ට අවශ්‍ය ආහාර රට තුළ නිපදවා ගත යුතු බවයි.

පුටින් මේ කරුණු දක්වා ඇත්තේ ෆෙඩරේෂණ කවුන්සිලය අමතමිනි.

වාර්ෂිකව සිදුකරන මෙම දේශනය රුසියාවේ රාජ්‍ය නායකයා විසින් ඉදිරි වසරේ ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන ප‍්‍රමුඛතම අවස්ථාව ලෙස සැලකේ.

රුසියාවේ භූමිය හා ජල මූලාශ‍්‍ර භාවිතා කරමින් රටට අවශ්‍ය ආහාර පමණක් නොව බටහිර නිෂ්පාදකයින්ට අහිමිව ගොස් ඇති සෞඛ්‍ය සම්පන්න හා උසස් තත්වයේ ආහාර වර්ග නිපදවීම කෙරෙහිද යොමුවිය යුතු බව පුටින් පවසා තිබේ.

බටහිර ජාතීන් ජාන වර්ධිත ආහාර සඳහා යොමුව ඇති මොහොතක කාබනික ආහාර ද්‍රව්‍ය සඳහා ලෝක වෙළඳපොළේ ඉල්ලූම ඉහළ ගොස් ඇති බව ඔහුගේ අදහසයි.

මේ සඳහා අවශ්‍ය කෘෂිකාර්මික ශ‍්‍රමය නොමැති වීම ප‍්‍රධානතම ගැටළුව ලෙස රුසියානු ජනාධිපතිවරයා විසින් හඳුන්වාදී ඇති නමුත් යුරෝපියානු හා ආසියානු රටවල් දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින තත්වයක් තුළ ශ‍්‍රමිකයින් සපයා ගැනීම එතරම් දුෂ්කර නොවනු ඇතැයද මත පළවී තිබේ.

තුර්කියට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ගයන් පිළිබඳවද පුටින්ගේ දේශනය තුළ වැඩි ඉඩක් හිමිව තිබූ බව පැවසේ.