FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ගෙන්වා ගැනීමට සිවිස් සහාය.

දූෂණය හෝ වෙනත් ආකාරයේ අයුතු ලෙස බලය පාවිච්චි කිරීමේ මාර්ග තුළින් නීති විරෝධීව උපයා ගෙන ඇති ශ්‍රී ලංකා රජයට අයත් අරමුදල් අපසු ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන කටයුතුවල දී අවශ්‍ය උපදෙස් හා සහාය ලබා දීමට ස්විස්ටර්ලන්තයේ පිහිටි පාලනය පිළිබඳ බාසල් (BASEL) ආයතනය සමඟ ගිවිසුම් ගත වීමට රජය අදහස් කරයි. මේ වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ස්විස්ටර්ලන්තයේ පිහිටි පාලනය පිළිබඳ බාසල් ආයතනය, ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශවල දූෂණය හා වෙනත් මූල්‍ය අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලීන් දියුණු කිරීම සඳහා කටයුතු කරන, ලාභ ඉපයීම අරමුණු කර නොගත් ස්වාධීන ආයතනයකි.

ශ්‍රී ලංකා රජය විසින් දූෂණයට හා මූල්‍ය අපරාධවලට එරෙහිව සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත රජයේ සහාය ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගිවිසුමට එළඹීමට නියමිතය.

අවශ්‍ය අවස්ථාවල දී ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයෙන් පිටත කිරීමට සිදුවන අධිකරණ කටයුතු සඳහා ද මෙම ආයතනයේ මඟ පෙන්වීම මේ අනුව ලැබෙනු ඇත.