FAST NEWS

24×7 Around the Globe

සංගාගේ නායකත්වයේ සුපිරි ඉනිම ඩයිනමයිට්ස් ජයග්‍රහණයට මදි වෙයි.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගය වූ බරිසාල් බුල්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර මිර්පූර්හි ශ්රී බංග්ලා කී‍්‍රඩාංගණයේදී  ඊයේ (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් අත්කර ගැනීමට බරිසාල් බුල්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය බරිසාල් බුල්ස් කී‍්‍රඩකයෝ පන්දු 8 ඉතිරිව තිබියදී කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

බරිසාල් බුල්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා වූ එවින් ලෙවිස්, අද දිනයේදී මෙවර බී. පී. එල්. තරගාවලියේ පළමු ශතකය (නොදැවී 101) ලබාගැනීමට සමත් විය. පන්දු 65 කදී වාර්තා වූ ඔහුගේ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

රොනී තලූක්දාර් (38) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 127 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලෙවිස් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ කුමාර් සංගක්කාර පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළේය.

රයන් ටෙන්ඩස්කාටර් සමග එක්ව ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ 5 වැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 42 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගක්කාර සමත් විය.

අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රයන් ටෙන්ඩස්කාටර් පන්දු 32 කදී නොදැවී ලකුණු 45 ක් රැුස්කළ අතර ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ සික්කුගේ ප‍්‍රසන්න ලකුණු 23 කට කඩුලූ 2 ක් දවාගත් අතර කෙවොන් කූපර් ලකුණු 30 කට කඩුලූ 2 ක් දවගත්තේය.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 158
(ශයිකත් අලී 15, කුමාර් සංගක්කාර 60, රයන් ටෙන්ඩස්කාටර් නොදැවී 45, සීක්කුගේ ප‍්‍රසන්න 23/2, කෙවොන් කූපර් 30/2)

බරිසාල් බුල්ස් කණ්ඩායම –  ඕවර 18.4 කදී කඩුල්ලක් දැවී 159
(රොනී තලූක්දාර් 38, එවින් ලෙවිස් නොදැවී 101, මෙහෙදි මාරුෆ් නොදැවී 15)