FAST NEWS

24×7 Around the Globe

විවාහයෙ පෙර මතකයන් අවදි කරමින් මහ රැජන මෝල්ටාවේ.

II වැනි එළිසබෙත් රැජින තම නිල සංචාර අතර ඉතා සුවිශේෂ සංචාරයක් අරඹනු ලැබීය. ඒ තුන් දින චාරිකාවක් ලෙස මෝල්ටාහි මෙඩිටරනියන් දිවයිනටයි. එළිසබෙත් රැජිනට මේ සංචාරයේ ඇති විශේෂත්වය වන්නේ 1950 වසරේ මුල් භාගයේ දී ඇගේ සේවය ලබා දෙමින් ඉතා සතුටුදායක කාලයක් ඇය මෙහි ගත කළ බැවිනි.

ඇගේ සංචාරයේ දින තුනම ඉතාමත් කාර්යබහුල වනු ඇත. ඇය සහ පිලිප් කුමරු 24 වැනි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වී අනතුරුව ඔවුන් විවාහ වූ අලුත ගත කළ ස්ථාන වෙත යෑමට සැලසුම් කර තිබුණි.

මේ වන විට 89 වැනි වියේ පසුවන එළිසබෙත් රැජින 1949 – 1951 අතර කාල පරාසය මෝල්ටාවේ ගත කළේ ඇගේ ස්වාමි පුරුෂයා නාවික හමුදා නිලධාරියකු ලෙස එහි ස්ථානගතව සිටි බැවිනි. එහිදී ඇය නටමින්, සාප්පු සවාරියේ යෙදෙමින් බොහෝ සේ නිදහස භුක්ති විඳිමින් ගත කළ සුන්දර කාලය රැජින ලෙස අභිෂේක ලැබීමත් සමඟ අහිමි විය.

එම කාලයට වඩාත් ඇලුම් කරන රාජකීය යුවළ‍ බොහෝ අවස්ථාවල මෝල්ටාවේ සංචාරය කළ අතර 2007 වසරේදී ඔවුන්ගේ හැට වෙනි විවාහ සංවත්සරය සමරමින්ද මෝල්ටාවේ සංචාරය කිරීම රාජකීය යුවළ හා මෝල්ටාව අතර ඇති මිත්‍රත්වය මැනවින් පිළිඹිබු කරයි. මෙවර සංචාරයට ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය කැමිලා ද සහභාගි වේ.

සිකුරාදා දිනයේදී එළිසබෙත් රැජින පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් හා නියෝජිතයින් 53 දෙනා ඇමතීමට නියමිතය. එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා සහ තවත් ජාත්‍යන්තර නායකයින්ද මේ අවස්ථාවට සහභාගි වනු ඇත.

විවිධ නිල උත්සව අතර මෙම සංචාරය තුළ ඇය ‍මෝල්ටාවේ ගත කරන අවසාන පැය කීපය අශ්වයින්ට වඩාත් ප්‍රිය කරන ඇය තුරඟ තරඟ පිටියේ ගත කරනු ඇති අතර මේ සංචාරය තුළ එළිසබෙත් රැජින එකල වඩාත් ප්‍රිය කළ ස්ථාන, කටයුතු පිළිබඳව වැඩි ආවරණයක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.

මෝල්ටාවේ ගත කළ කාලයේ දී ඇය මෙම තුරඟ තරඟ පිටියේ අශ්වයින් පිටේ යාමට ප්‍රිය කර ඇති අතර රාත්‍රි කාලයේදී එහි ඇති සමාජ ශාලාවේදී ඇය වඩාත් දක්ෂ වූ ‘සම්බා’ නර්තනයට ද එක් වී ඇත.