(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
නීතිපතිවරයා එබව දැනුම් දී ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසීමකට අනුව ය.
ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.
කෙසේවුවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඒමට අවසර නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අඩංගුවට ගෙන සිටින කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බවයි.
ඇමතිවරයා මෙසේ පැවසුවේ, රැඳවුම් නියෝග යටතේ සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා මැති සබයට කැඳවන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළ අවස්ථාවේදී ය .
ඔහු පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී යම් යම් රහස අනාවරණය කළහොත් එය පරීක්ෂණවලට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඇතැම් අපරාධකරුවන් රටින් පළායාමේ හැකියාවක් ඇති බවත් ඇමැතිවරයා එහිදී කියා සිටියේය.
එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව සරත් වීරසේකර අමාත්‍යවරයා පැවසිය.
එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.
විපක්ෂ නායකවරයා එහිදී කතානායකවරයා අමතමින් සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.









