FAST NEWS

24×7 Around the Globe

මහින්දට එරෙහි බැනරයට රුපියල් 20,000ක වන්දි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරන බැනරයක් ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් පොලීසිය මූලික අයිතීන් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අනිල් ගුණරත්න මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබාදුනි.
තංගල්ල ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන ඩැනිස්ටර් ගුණසේකර නැමැත්තෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරන බැනරයක් තම නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කළ බවයි.

අනතුරුව තංගල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ එම බැනරය කපා දමා තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පවසන ඔහු ඒ තුළින් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය කියා සිටියේ තංගල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ පුද්ගලයාගේ මූලික අයිතීන් කඩ කර ඇති බවයි.

ඒ අනුව ඔහුට රුපියල් 20,000ක වන්දි මුදලක් ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.