කොදෙව් කණ්ඩායම සමග නිමාවූ පළමු එක්දින ක්‍රිකට් තරගය අපට හොඳ පාඩමක් වූයේ යැයි පළපුරුදු පිතිකරු ටී.එම්.ඩිල්ෂාන් පවසයි.
පළමු තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන් පැවැසූවේ එය තරුණ ක්‍රීඩකයින්ගේ අනාගතයට විශාල අත්දැකීමක් වනු ඇති බවයි.
කඩුලු දෙක තුනක් දැවී ජයග්‍රහණය කරා යා හැකිව තිබූ තරගය අවසන් මොහොත දක්වා උණුසුම්වීම හා ජයග්‍රහණය කරා ගිය අයුරු යොවුන් ක්‍රීඩකයන්ට අත්දැකීමක් වනු ඇතැයි ඩිල්ෂාන් විශ්වාසය පළ කළේය.
මෙවැනි උණුසුම් තරගවලට ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයින්ට ලැබෙන අත්දැකීම සාර්ථක ඉදිරියකට අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහස විය.
“ මේ තරගය අපට හොද පාඩමක්. තරුණයන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ වගේ තරග අවශ්‍යයි. මා පිතිකරුවෙක් ලෙස ලකුණු අතරට පිවිස හොඳ ආරම්භයක් ලබාගත්තත් මැද පෙළ ඉක්මණින් දැවී ගියා. එය බලවත් පීඩනයක් වුණා. නමුත් අජන්ත මෙන්ඩිස් හොඳ ජයග්‍රහාහී නිමාවක් දුන්නා. මා පසුගිය මාස 2ක පමණ කාලයක් ජාත්‍යන්තර තරග වලට සහභාගී වූයේ නෑ. දේශීය තරගවලට හා පුහුණුවීම් වලට සහභාගී වූ නිසා හොඳ මානසික තත්ත්වයකින් සිටියා. පළමු තරගයේදීම ලකුණු අතරට පැමිණීම තරගාවලියට හොඳ දෙයක්. ලකුණු හඹා යද්දී හොඳ ආරම්භයක් අවශ්‍යයි. හොඳ ආරම්භයක් ලබා ගත්තත් මේ තරගයේ අවසන් අදියරේ අමාරු වුණා. සුනිල් නරේන්ට ඉක්මනින් කඩුලු බිඳ වැටීම අපට අවදානම වැඩිවීමට හේතුවයි“ ඩිල්ෂාන් පැවැසීය.
සචිත්ර මෙන්ඩිස් හා අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීම විශිෂ්ට තත්ත්වයක තිබූ බව පෙන්වා දුන් ඩිල්ෂාන් ආරම්භක වේගපන්දු යැවූ සුරංග ලක්මාල් ද තම සේවය හොඳින් ඉටුකළ බව සිහිපත් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කොදෙව් ක්‍රිකට් නායක ජේසන් හොල්ඩර් පැවැසූවේ හොඳ සටනක්දී ලද පරාජය පිළිබද කණගාටු නොවන බවයි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් දක්වා දැඩි ආයාසයකින් තරගයේ යෙදුණු බවත් පන්දු යවන්නාගේ සුලු වැරදීමකින් අනතුරුව ලැබුණු නිදහස් පහරේදී මෙන්ඩිස් එල්ල කළ දැවැන්ත පහර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ඉක්මන් කළ බවත් ඔහු පැවැසීය.
“අපට තිබෙන්නේ ඊළඟ තරගය පිළිබඳව සැලසුම් කිරීමයි. එය හොඳින් ඉටුකොට තරගාවලියේ රැඳීමට අපේක්ෂා කරනවා. අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. ශ්‍රී ලංකා පිතිකරුවන්ට හොඳින් ක්‍රීඩා කළා “ හොල්ඩර් පැවැසීය.
වර්ෂාවෙන් බාධාවූ තරගයේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කොදෙව් පිලට ආරාධනා කළ අතර එහිදී ඕවර් 26කට සීමාවූ ඉනිමේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් වාර්තා විය. ශ්‍රී ලංකාව ඕවර් 24.5කදී කඩුලු 9ක් දැවී ලකුණු 164ක් ලබා ජයග්‍රහණය තහවුරු කළේය. ජයග්‍රහණය හඹායද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් 6ක් ලකුණු 32ක් ඇතුලත දැවී යෑමෙන් දැඩි පීඩනයක් එල්ල වුවද අජන්ත මෙන්ඩිස් නොදැවී ලකුණු 21ක් ලබා ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමට සමත් විය. ඔහු ජයග්‍රහණයට අවශ්‍ය ඉලක්කය පසුකළ දැවැන්ත හයේ පහර විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අමන්දානන්දයට හේතුවක් විය.
කොදෙව් පිල වෙනුවෙන් ඩැරන් බ්රාවෝ ලකුණු 38ක් ,ඇන්ඩි රසල් ලකුණු 41ක් හා හෝල්ඩර් ලකුණු 36ක් ලබාගත් අතර ලක්මාල් කඩුලු 3ක් හා මෙන්ඩිස් කඩුලු 2ක් බිඳහෙලීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 59ක්, කුසල් පෙරේරා ලකුණු 14ක් හා තිරිමාන්න ලකුණු 17ක් ලබා ගත්හ. ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පන්දු යැවූ සුනිල් නරේන් ඕවරයකදී කඩුලු 3ක්, ජොනතන් කාටර් හා බ්‍රැත්වෙයිට් කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ. හෙට (4) මෙම තරගාවලියේ දෙවැනි තරගය ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගයේදී ධනුෂ්ක ගුණතිලක හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනවෙන් එක්දින වරම් දිනා ගැනීම විශේෂ සිද්ධියක් විය.






