FAST NEWS

24×7 Around the Globe

අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙනෙයි.

අජන්ත මෙන්ඩිස්ගේ දක්ෂ පිති හරඹය හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය, ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව එක් කඩුල්ලකින් ජය ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තරගය ආරම්භ වීම වර්ෂාව හේතුවෙන් ප්‍රමාද විය.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක සහ ෂෙහාන් ජයසූරිය එක්දින වරම් දිනා ගත්තේ ය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කළේ, පළමුවෙන් පන්දු යැවීමට ය.

ඒ අනුව, පිටියට පැමිණි බටහිර ඉන්දීය ක්‍රිඩකයන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විණි.

ඔවුන්ගේ පළමු කඩුලු 4 බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 42 ක් තිබියදී ය.

ශෙහාන් ජයසූරියගේ මංගල එක්දින කඩුල්ල ලෙස ජොනතන් කාටර් ලකුණු 8කට දැවී ගියේ ය.

තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් අනතුරුව විනිසුරුවරුන් තීරණය කළේ, එක් පිලකට පන්දුවාර 26 බැගින් ලබා දීමට ය.

ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 26 අවසානයේදී කඩුළු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159 කි.

සුරංග ලක්මාල් පන්දුවාර 5 කදී ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 26 දී ලකුණු 163 ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව, පිටියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 46 කි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 14 කට දැවී ගියේ ය.

සිය 47 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 59 කි.

අනතුරුව ලකුණු 48ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ වැටිණ.

මුළු ලකුණු සංඛ්‍යාව 133 ක් ව තිබියදී 8 වන කඩුල්ල ලෙස පිටියට පැමිණි අජන්ත මෙන්ඩිස්, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

ඔහු පන්දු 20කින් 4 පහරක් සහ 6 පහරක් ද සමගින් ලකුණු 21ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 24යි පන්දු 5ක් අවසානයේ කඩුලු 9ක් දැවී සිටියදී ය.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කන්ඩායම පෙරමුණේ පසු වෙයි.

දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන 4 වන දා කොළඹ ආර්. ප්‍රෙමදාස පිටියේදී පැවැත්වීමට නියමිත යි.