FAST NEWS

24×7 Around the Globe

මීටර 800 ක ග්‍රහකයක් පෘථිවිය සමීපයෙන්

ග්‍රහකයක් පෘථිවිය සමීපයෙන් හෙට ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
මෙම ග්‍රහකය මීටර 400 ක් පමණ පළල වන අතර හඳෙහි ගමන් මාර්ගයට තරමක් ඈතින් ගමන් කරනු ඇත.
පෘථිවියත් හඳත් අතර දුර මෙන් 1.3 ගුණයක් පෘථිවියේ සිට ඈතින් තත්පරයට කිලෝමීටර 35 ක පමණ වේගයෙන් ගමන් කරයි.

මෙම ග්‍රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක් සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැත.
මෙම ග්‍රහකය 2015TB145 ලෙස අංකනය කර තිබේ. සෙනසුරාදා රාත්‍රියෙහි දඩයක්කාරයා තාරකා රූපය පසුබිමෙන් මෙය ගමන් කරනු ඇත.

මෙම ග්‍රහකය පියවි ඇසට නිරීක්ෂණය කළ නොහැකි අතර අඟල් 8 ක් හෝ ඊට වැඩි විශ්කම්භයක් සහිත දුරේක්ෂයක් තුළින් ඉතා පැහැදිලි අහසකදී නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් අදහස් කරයි.

නැවත මෙවැනි ග්‍රහකයක් 2027 දී හඳට සමාන දුරකින් ගමන් කරනු ඇත. එහි විශාලත්වය මීටර 800 ක් පමණ වන බව අනාවරණය කරගෙන ඇත.

මීට අමතරව නොවැම්බර් 13 වෙනිදා තවත් අභ්‍යවකාශ වස්තුවක් ශ්‍රී ලංකාවෙහි දකුණු වෙරළෙහි සිට කිලෝමීටර 65 ක් පමණ දුරින් මුහුදට වැටෙන බව සොයා ගෙන ඇත.

මෙම ආකාශ වස්තුව මීටර 2ක් පමණ දිග වන අතර සඳට යවන ලද යානයක කොටසක් විය හැකි බව විශ්වාස කරයි.

එබැවින් එම දින වල දකුණු මුහුදු වෙරළ ප්‍රදේශයට යාම අවදානම් සහිතය.