FAST NEWS

24×7 Around the Globe

ඊසිකෑෂ් ක්‍රමයට සිර දඩුවම අඩුකර ගත් හැටි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊෂිකෑෂ් ක්‍රමයට සිරදඬුවම වසර 15කින් අඩුකර ගත් සිරකරුවෙක් පිලිබඳ තොරතුරු වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වුණු ජේ.එම්. ප්‍රියන්ත ජයමහ නමැති සිරකරු වාරියපොළ හිනිපෙන්දේගම ප්‍රදේශයේදී පෙරේදා (3 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 10 මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට වැලිකඩ බන්ධනාගාර ජේලර්වරයකුට ලබාදී මෙලෙස නිදහස ලබාගත් බව සැකකරු ප්‍රකාශ කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

දිවයිනෙහි ලියාපදිංචි අපරාධකරුවකු වන ඔහු 2035 වසරෙහි නිදහස්වීමට නියමිතව තිබී ඇත.

මෙම සිරකරු කූට ලේඛන සෑදීමේ චෝදනාවන්ට බන්ධනාගාර ගත කළ අයෙකි.

දෙසැම්බර් මස විසිපස් වැනි දින බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ සැකකරු දින දාහතරක් ස්වයං නිරෝධානයට ලක්වී සිටින අවස්ථාවේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාරගේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයට භාරදෙන ලෙසට නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල් තුසිත උඩුවරගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ චෝදනාවට ලක්වන නිලධාරියා ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.