FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම ගැන මීලින්දගෙන් ප්‍රකාශයක්.

වයස 29 ක් ගතවන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම ගැන කිසිදු කනගාටුවක් හෝ දුකක් නොමැති බවත්, තමන්ට කණ්ඩායමට එක්වීමට ලැබුණේ සුදුසුම කාලයේ බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන පවසා සිටියේය.

මෙම තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී මිලින්දට ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගැනීමට හැකිවූ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ මිලින්ද දැක්වූ තුන් ඉරියව් දක්‍ෂතා හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිලින්ද, “මගේ පළමු ටෙස්ට් තරගාවලියේදීම තරගයේ වීරයා සම්මානයක් දිනාගැනීමට හැකිවීම ගැන සතුටු වෙනවා. මම විශ්වාස කරනවා කණ්ඩායමට ලබාදිය හැකි දායකත්වය උපරිමයෙන් ලබාදුන්නා කියලා.

මට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය හිමිවුණේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සේවය ලබාදෙන්න. එමනිසා එක් අංශයකට පමණක් විශේෂයක් දැක්වුවේ නැහැ. පන්දු යැවීමේදී රංගන අයියාගෙන් තරගය අතරතුරේදීත්, පිටතදී ගොඩක් උදව් ලැබුණා.

මම අනුගමනය කරන ක්‍රීඩකයෙක් කියලා විශේෂ කෙනෙක් නැහැ. නමුත් ගොඩාක් කැමතියි මහේල අයියගේ ක්‍රීඩා විලාසයට. නමුත් මම හිතන්නෙ නැහැ ඔහු වැනි කෙනෙක් වෙන්න මට පුළුවන් වෙයි කියලා. කෙසේ නමුත් මම උත්සාහ කරනවා ඔහු වැනි ක්‍රීඩකයෙකු වෙන්න” යැයි පවසා සිටියේය.