FAST NEWS

24×7 Around the Globe

එළඹෙන සතිය තීරණාත්මකයි.සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී එළැඹෙන සතිය තීරණාත්මක බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද(18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

මේ නිසා මෙම සති අන්තයේ හැකි තරම් සංචරණය සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 04 වැනිදායින් පසු මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 15,365 කි.

ආසාදිතයින් 8,004 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2,284 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,227කි.

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම අඩුවද්දී, අනෙක් පළාත්වල කොරෝනා අවදානම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.