FAST NEWS

24×7 Around the Globe

ඔබත් මේ බස් රථ වල ගියා නම් සැලකිලිමත් වන්න

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – කඳාන විදුලි සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ සිය නිවස වෙත ගොස් ඇති බවට හෙළිව තිබේ.

එහිදී ඔහු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ඇති බැවින් එම බස් රථවල ගමන්ගත් පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ තම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවට හෝ පැමිණෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලීමක් කරයි.

පසුගිය 03 වැනි දා කඩවත සිට සවස 6.00 ට ගමන් ආරම්භ කළ අධිවේගී මාර්ග බස් රථයකින් මෙම ආසාදිත පුද්ගලයා ගාල්ල නගරයට පැමිණ තිබේ.

ඉන් පසු ගාල්ල බස් නැවතුමේ මද වේලාවක් රැඳී සිටි ඔහු රාත්‍රී 8.30 ට බද්දේගම දක්වා ගමන් ආරම්භ කළ ගමනා ගමන මණ්ඩලයේ බසයකින් ගමන් කළ බවත් එම බසයේ විශාල සෙනඟක් අතර තෙරපෙමින් ගමන් කළ බවත් හෙළිව ඇත.

පෝද්දල මං සන්ධියේ දී බසයෙන් බැසගත් හෙතෙම නිවසේ කාලය ගත කර ඇති අතර තම දරුවන් උපකාරක පන්ති රැගෙන යාම ඇතුළු කාර්යයන් සඳහා පුද්ගලික මෝටර් රථය භාවිතා කර තිබේ.

ඉන් අනතුරුව පසුගිය 06 දා උදෑසන 6.00ට පමණ ආපසු කොළඹ යාමට පොද්දල හන්දියට පැමිණි ඔහු බද්දේගම සිට පෝද්දල හන්දියට 6.30ට පැමිණි බසයකින් ගාල්ල දක්වා පැමිණ ඇත.

මෙම බසයේ ද විශාල පිරිසක් ගමන්ගත් බව හෙතෙම පවසනවා. මේ බසයේ ද ගාල්ල දක්වාම ඔහු ගමන්කර ඇත්තේ අසුනක් නොමැතිවයි. ඉන් අනතුරුව ගාල්ලෙන් උදෑසන 8.00 කඩවත දක්වා පිටත් වූ අධිවේගී මාර්ග බසයක ඔහු ගමන් කර තිබ.

මෙම ආසාදිතයාගේ පුත්‍රයකු ද පසුගිය දිනවල අධිවේගී මාර්ගය ඔස්සේ බසයකින් කොළඹ ගොස් ආපසු පැමිණ ඇති අතර ඔහු මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙන අතර පීසීආර් පරීක්ෂණය හෙට (14) පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ආසාදනය වී සිටින මෙම පුද්ගලයා ගමන්ගත් අදාල බස්රථවල එම මොහොතේ සිටි පුද්ගලයන් හඳුනාගැනීම ඉතාමත් අපහසු කරුණක් වී ඇති බවයි.

එබැවින් තමන් මෙම වේලාවන්හි අදාල බස්රථවල ගමන් කළේ නම් වහාම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.