FAST NEWS

24×7 Around the Globe

Brandix නැහැ කියුවද, ඉන්දියානුවන් ගෙන්වූ බවට ලියවිල්ලක් එළියට[LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව ආශ්‍රයෙන් ඇති වී දැනට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරට හේතුව ඉන්දියාවේ සිට පැමිණි සේවකයන් පිරිසක් විය හැකි බවට සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් පවතී.

මේ අතර Brandix ආයතනය විසින් විශේෂිත ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොළ හරහා ඉන්දියාවේ විශාකාපට්නම්හි සිට 60 දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙරටට ගෙන්වා ගත් බවට සඳහන් ලියවිල්ලක් ඊයේ (07) සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමක් සමඟම නැවතත් ආන්දෝලනාත්මක තත්ත්වය මතු විය.

අදාළ ලියැවිල්ලට අනුව සැප්තැම්බර් 22 වැනි දින පස්වරුවේ UL 1159 දරන ගුවන් යානයෙන් අදාළ සේවකයන් පිරිස මත්තලට ළඟා වී ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පුවත්පතකට සඳහන් කළේ ඉන්දියානු ජාතිකයන් එහි සේවය කළ බවට පළවන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

මේ අතර Brandix ආයතනය විසින් සැප්තැම්බර් 22 වැනිදා මෙරටට විශේෂ ගුවන්යානයකින් පිරිසක් රැගෙන ආ බවට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන බී. කන්දීපන් මහතා තහවුරු කරයි.

අදාළ ගුවන් යානයෙන් සේවකයන් ගෙනා බවට තොරතුරු ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගැනීමක් සමඟම Brandix ආයතනය ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනයේ සඳහන් වූයේ අදාළ ආයතනය මඟින් විශාකාපට්නම් සිට එක් ගුවන් යානයක් නොව ගුවන් යානා තුනක් මඟින් එහි ඇති කර්මාන්තශාලාවේ සිට ශ්‍රී ලංකාවට කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

අදාළ පිරිස් දින 28ක් අනිවාර්ය නිරෝධායනයට ලක් කළ බවත් රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානවල සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටි බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.