FAST NEWS

24×7 Around the Globe

වැටුප් කප්පාදුව තවදුරටත් ඉල්ලන හාම්පුතුන්ට ඇමතිගේ විරෝධය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා උවදුර සමයේ බොහෝ සේවකයින් නිවෙස් වල සිටි නිසා වැටුප් භාගයක් හෝ රුපියල් දාහතරදහස් පන්සියක වැටුපක් ගෙවීමට කටයුතු කළේය.

මෙලෙස අඩ වැටුපක් ගෙවීමේ ක්‍රමවේදය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලෙසට බොහෝ හාම්පුතුන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

හාම්පුතුන් වෙත මෙම සහනය ලබාදෙන ලද්දේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බවද මේ වන විට කර්මාන්ත යථා තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දී ඇති කම්කරු ඇමැතිවරයා හාම්පුතුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වර්තාවේ.

මේ අතරින් බහුතරය ඇඟලුම් කම්හල් වන අතර ප්‍රවාහන පහසුකම් සහ අතිකාල ගෙවීම් තවදුරටත් ලබා නොදී සේවකයන්ට සේවයට පැමීණීම හිතාමතා අධෛර්යමත් කරන ආයතන පනහක් පිළිබඳවද ඇමැතිවරයාට මේවන විට පැමිණිලි ලැබී ඇත.
ඇතැම් ආයතන හිතාමතාම වැටුප් ගෙවීම ප්‍රමාද කරන බවටද සේවකයින්ගෙන් පැමිණිලි ලැබී තිබේ.

මේ වන විට කොවිඩ් වසංගතය පාලනයවී ඇති නිසා විශේෂයෙන් ඇඟලුම් කර්මාන්ත වලට මෙන්ම බොහෝ ආයතන වල ආදායමට බාධාවක්වී නැතැයි හාම්පුතුන්ට පවසා ඇති ඇමැතිවරයා එබැවින් සේවක වැටුප් කප්පාදු කිරීමේ හේතුවක් නැතැයිද පෙන්වා දී ඇත.

කොවිඩ් වසංගතය මුවාවෙන් හාම්පුතුන් විසින් සේවක වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිලි පිළිබඳව මාස පහක් තිස්සේ කිසිදු පියවරක් නොගැනීම ගැන අප්‍රසාදය පළකර ඇති ඇමැතිවරයා අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීමට හේතු දක්වමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නිලධාරීන්ට නියෝග කර තිබේ.