(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්දකාඩුව කොවිඩ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
අද (22) අලුයම තුවාල ලැබූ මෙම පිරිස ප්‍රතිකාර සඳහා වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බවය වාර්තා වේ.
කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී ඇත.
එම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති හමුදා භට පිරිස් විසින් ගැටුමට සම්බන්ධ වූ පිරිස් පාලනය කොට ඇති බව වාර්තා වන්නේ.
කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 279 දෙනෙකු සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු මෙහි ප්‍රතිකාර ලබමින් සිටිති.
ඔවුන්ගෙන් කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම ඇතිවී තිබෙන බව කියති.
ගැටුමට මැදිවූ පිරිස අතින් පයින් පමණක් නොව එම කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් සඳහා භාවිත කෙරෙන කොසු ඉදල් ආදියෙන්ද එකිනෙකාට පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
එහි ආරක්ෂක කටයුතු බාරව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පැමිණ ගැටුම සමථයකට පත්කර තිබෙන බවද පොලීසිය සඳහන් කලේය.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.









