FAST NEWS

24×7 Around the Globe

තමන් මිය ගිය බවට ප්‍රචාරය වන පුවතක් පිළිබඳව ක්‍රිකට් තරුවකගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | පාකිස්තාන) – පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගිය අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන් සිය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියි.  

තමන් ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ප්‍රකාශ කර සිටින ඉර්ෆාන්, පසුගිය දිනක සිදුවූ රිය අනතුරකින් තමන් මිය ගියා යැයි ප්‍රචාරය වූ පුවත තවදුරටත් විශ්වාස නොකරන මෙන් ඉල්ලා සිටියි.

38 හැවිරිදි ඉර්ෆාන් පාකිස්තානය තුළ පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළදීද කාගේත් අවධානය දිනා ගත් චරිතයක් බවට පත්වී තිබුණේ ඔහු අනෙක් ක්‍රීඩකයින්ට වඩා කැපී පෙනෙන උසක් ඔහු සතුව ඇති හෙයින්.

මෙම අකරතැබ්බය සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීම සඳහා ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුම හරහා පණිවිඩ කිහිපයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත්තේ ලැව් ගින්නක් මෙන් වේගයෙන් පැතිර යන කටකතා සියල්ලම පදනම් විරහිත ඒවා බවයි.

කෙසේ වෙතත් පාකිස්තාන ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන මොහොමඩ් ඉර්ෆාන් නමැති ක්‍රීඩකයකු පසුගිය (21) දිනකදී හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් බොහෝ දෙනකු ඒ මියගියේ පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් ඉර්ෆාන් බව වැරදි වැටහීමකින් යුතුව කටයුතු කරන්නට ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කර තිබේ.