FAST NEWS

24×7 Around the Globe

දුෂිත රාජ්‍ය තාන්ත්‍රිකයන් පසුපස FCID හඹා යයි.

විශේෂයෙන්ම පසුගිය රජය සමයේ පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අවධානය දැඩිව යොමුව ඇති බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙකු පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලටද සහභාගි වී ඇති බවට තොරතුරු මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සතුව මේ වන විටත් ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණ සමයේ මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් බොහෝ දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර මොවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට් පත්වලට මුදල් දී ඇත්තේ කවුරුන්ද යන්න සොයා බැලීමට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විශේෂ අවධානය යොමුව ඇත.

මෙම රාජතාන්ත්‍රිකයින් මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන්ට සුඛෝපභෝගී පහසුකම් දී ඇති අතර ඒ සඳහා වැයවී ඇති මහජන මුදල් ප්‍රමාණය කොතරම් ද යන්න පිළිබඳවද අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ දියත් කිරීමට සූදානම් වේ. මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ‍ලේකම් සෙනෙවිරත්න මහත්මියගෙන් හා හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම විමර්ශන කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය තවදුරටත් පුළුල් කර ජාත්‍යන්තර මට්ටමේ ඒකකයක් බවට පත් කළ යුතුව ඇති අතර ඒ සඳහා වන නීතිමය කටයුතු ද මේ වසර අවසාන වීමට පෙර ගැනීමට නියමිතය.