FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මෛත්‍රීපාල යලිත් මැතිවරණ නීති උල්ලංඝනය කරයි

(ෆාස්ට් නිව්ස් |පොළොන්නරුව) – හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොළොන්නරුව අරලිය හෝටලයේ පැවති උත්සවයක් හදිසියේ නවතා දමා තිබේ.

ඒ මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුවය.

පෙරේදා (20) දිනයේ පොලොන්නරුවේදී මෙය සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට පොළොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ද කැඳවා තිබුණි.

මේ අනුව මෛති‍්‍රපාල සිරිසේන මහතා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ් බාධා කිරීම් නිසා අඩාල වී ගියේය.

තමන්ට එල්ල කෙරෙන බලපෑම් ගැන කකණගාටු වන බව හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුවේ රැස්වීමකට එක්වෙමින් සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

‘‘විශ‍්‍රාමිකයින්ගේ යම් යම් ගැටලූ තිබේ නම් ඒවා විසඳන්න මම කැපවෙනවා. මැතිවරණයෙන් පස්සේ ඊට ප‍්‍රමුඛතාව දෙනවා. වර්තමාන රජය විශ‍්‍රාමිකයින්ගේ කටයුතු සම්බන්ධයෙන් ඉතාම හොඳ මැදිහත්වීමක් කරනවා.

තවත් කනගාටුදායක දෙයක් කියන්න ඕන. අද උදේ පාන්දරම මැතිවරණ කොමිසමේ නිලධාරි මහත්වරුන් ඇහුවා එන අයට කන්න දෙනවද කියලා. එතකොට මම කීවා දුරබැහැර ඉඳලා එන අයට කෑම ටිකක් දෙනවා කියලා. එතකොට කීවා කෑමබීම දෙන්නත් බෑ කියලා. ඒ නිලධාරින් අහනවා කන්න බොන්න දීලා අල්ලසුත් දෙනවද කියලා. එතකොට මම කිව්වා මම කවදාවත් අල්ලස් දීලත් නෑ. දෙන්නෙත් නෑ. මේ එන අය විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන් පිරිසක්.

එදා වගේම මම කිව්වා කෑම බීම දෙන එකත් වැරදියි නම් නීතියට ගරු කරලා එකත් නොදී ඉන්නම් කියලා. නමුත් දුර බැහැර ඈත වැලිකන්ද, මාදුරුඔය, ඇළහැර, බකමූණ, මැදිරිගිරිය, ලංකාපුර, හිගුරක්ගොඩ, දිඹුලාගල ඉඳලා එන අයට කෑම ටිකක් තේ ටිකක් දෙන්න එපා කීවාම මට හිතට අමාරුයි. අරලිය හෝටලේට ඇවිල්ලා කේක් කෑල්ලක් බිස්කට් එකක් නොදී යවන එක මට හරිම හිතට අමාරුයි. මැතිවරණ කොමිසමේ සභාපතිට කතා කරන්න උත්සාහ කළා. නමුත් 2.30ට විතර තමයි ගන්න පුළුවන් වුණේ.

පොලොන්නරුව මැතිවරණ කාර්යාලයේ නිලධාරින් කියලා තිබුණා අරලිය හෝටලෙත් ගන්න එපා මැතිවරණ රැස්වීම්වලට කියලා. මම ඒ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දුන්නා. එතකොට සභාපතිතුමා මට කිව්වා, හෝටල්වල ශාලාවක් තුළ එහෙම රැස්වීම් පැවැත්වීමට බාධාවක් නෑ කියලා. මම කනගාටු වෙනවා, මැතිවරණ කොමිසමේ නිලධාරින්ට කවුරුහරි දුරකථන ඇමතුම් දීලා මම මගේ හිතවතුන්ට සංග‍්‍රහ කරන එකත් නීති විරෝධියි කියනවා. මෙහෙම මේ රටේ කවදාවත් වෙලා නෑ. නමුත් මම කනගාටු වෙනවා අරලිය හෝටලයට ඇවිල්ලත් තේ එකක්වත් බොන්න නොදී ඔබට යන්නට සිදු වීම ගැන.”