FAST NEWS

24×7 Around the Globe

ජයලලිතාට නැවතත් පුටුවට ?- තමිල්නාඩු මහ ඇමති ඉල්ලා අස්වෙයි

තමිල්නාඩු ප්‍රාන්තයේ නව ආණ්ඩුවක් පිහිටු වන්නැයි එහි ආණ්ඩුකාරවරයා හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට ආරාධනා කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ ඕ පනීර් සෙල්වම් අද එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ජයලලිතා ජයරාම් අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය විසින් වරදකාරියක කර සිරදඩුවම් නියම කෙරුණා. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය හෙබවූ සිය 3 වන ධුර කාලය අතරවාරයේ එම ධුරය අතහැරීමට ජයලලිතාට සිදුවුයේද ඒ අනුවයි. එයින් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් ඕ පනීර් සෙල්වම් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉකුත් වසරේ සැප්තැම්බර් මස 30 වනදා දිවුරුම් දුන්නා.

කෙසේවෙතත් මුල් අධිකරණ තීන්දුව වෙනස් කරමින් කර්ණාටක මහාධිකරණය ඉකුත්දා තීරණය කළේ අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නගා තිබූ සියලූ චෝදනාවලින් ජයලලිතා ජයරාම් නිදොස් කොට නිදහස් කිරීමටයි. ප්‍රධාන අමාත්‍ය ධුරය නැවත ලබාගැනීමට ඒ අනුව ඇයට අවස්ථාව උදාවී තිබෙනවා.