FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට යොමු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ දිනයේ සිට නැගෙනහිර කොළඹ මූලික රෝහල සම්පුර්ණයෙන්ම කොවිඩ් නයින්ටින් ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා භාවිතයට ගනු ලබයි.

එමෙන්ම කොරෝනා සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනේ.

ද සොයිසා සහ කාසල් වීදියේ කාන්තා රෝහල්වල වෛද්‍යවරුන් සේවා මුර අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර කටයුතු සදහා යොදා ගනී.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද වෛරස් රෝගීන්ට ප්‍රතිකාර සදහා යොදාගැනීමට නියමිතය.

තවද වොයිස් ඇමෙරිකා ආයතනයට අයත් ගොඩනැගිල්ලද සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට සූදානම් කෙරේ.

මේ අතර ඇදිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.