FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක වෙත රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර.

සිරියානු අර්බුදය අවසානයක් කරා ගෙන ඒම සඳහා දේශපාලනික සම්මුතියකට පැමිණීමට එකඟ වන ලෙස රුසියානු ජනපතිවරයා සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගෙන් ඉල්ලා සිටී.

රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් එම ඉල්ලීම කර ඇත්තේ, සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව රුසියානු ගුවන් යානා සිරියාව තුළ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව ය.

සිරියාවේ හෝම්ස් නගරයේ ISIS සටන්කාමින්ගේ ඉලක්කයක් වෙත රුසියාව ඊයේ ගුවන් ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය අද නිකුත් කර තිබේ.

සිරියාවේ ISIS සටන්කාමින්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරිම සඳහා රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හිමිවිමෙන් පසුව මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කෙරිණ.

ඒ අනුව, ඕනෑ ම වේලාවක සිරියාවේ ඉලක්ක වෙත රුසියානු ගුවන් ප්‍රහාර එල්ල කළ හැකි වේ.

මේ අතර සිරියානු අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමට හැකි වනු ඇත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් බව ජනාධිපති පුටින් අවධාරණය කරයි.

විදෙස් වාර්තා පැවසුවේ, දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාව සිරියානු ජනපති බෂර් අල් අසාද් තේරුම් ගෙන සිටින්නේ යැයි තමා විශ්වාස කරන බව ජනාධිපති පුටින් පවසා ඇති බව ය.

2011 වසරේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වන විට මිය ගිය පිරිස ලක්ෂ 2කට අධික ය.