එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති කොමිසන් සභාව තීරණය කර ඇතැයි අනාවරණය වේ.
මිලියන 115 ක් මුදලක් ස්වාධීන රූපවාහිනී සේවාවට නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කොමිසමේ නිලධාරීන් ප්‍රශ්න කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳ එවක සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ගෙන් විමසන ලෙසයි.
හිටපු ජනපතිවරයා ගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනී සේවාව ඔස්සේ දැන්වීම් පළකිරීමේදී සිදු කර තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ තමන් නොව පක්ෂය බව හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව ද අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් බරපතල වංචා දූෂණ විර්ශන ජනපති කොමිසමේ ලේකම් ලැසිල්ද සිල්වා මහතා ගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ හිටපු සන්ධාන ලේකම්වරයාට කොමිසම හමුවේ හෙට (30) උදෑසන 10.00 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි.
දැනට කොමිසම හමුවේ පැවැත්වෙන සාක්ෂි විමසීමේදී අනාවරණය වූ කරුණු කීපයක් සම්බන්ධයෙන් විමසීම සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් වරයාට කෙමිසම හමුවේ පෙනී සිටින ලෙස අප ලිඛිතව දන්වා යවා තිබෙනවා. ඇතැම් පිරිස් මෙම ජනාධිපති කොමිසම පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා කරන්නට උත්සහයක් දරනවා. එම චෝදනාව අප ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් අය නිර්දෝශී නම් කොමිසම හමුවේ විභාගවන පරීක්ෂණවලින් ඔප්පු වෙයි. අප මෙම විමර්ශන කටයුතු කරන්නේ ජාතික වගකීමක් ලෙස සලකා මිසක කාගෙවත් දේශපාලන කොන්ත්‍රාත්තුවක් ලෙස නෙවෙයි‘ යැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.







