FAST NEWS

24×7 Around the Globe

වසීම් තාජුඩීන් ගමන්ගත් කාර් රථය ගිනි ගැනීම අභිරහසක් බවට පත්වේ.

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගමන්ගත් කාර් රථයේ ගැටීමෙන් හානි වී ඇති ලෝහමය කොටස්වලින් ගිනි ගැනීමක් සිදු විය නොහැකි බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) ජේ.ඒ.එස්. ජයවීර මහතා වාර්තාවක් මඟින් ඊයේ (28) කොළඹ අති‍රේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දැනුවත් කළේය.

තවද එම කාර් රථයේ ගිනි ගැනීම ආරම්භ වූයේ ව්‍යාප්ත වූයේ කෙසේද? යන්න පිළිබඳව නිශ්චිත මතයක් ප්‍රකාශ කළ නොහැකි බවට එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉකුත් අගෝස්තු 14 වන දින මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව 25 වන දින පෙරවරු 9.30ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ශාලිකා ශාලාව අසල තිබූ K-Q 6543 දරන අනතුරට පත් වූ කාර් රථය ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක ඒ.වැලිඅංග, ටොයෝටා සමාගමේ කාර්මික උපදේශක ඩබ්ලිව්.එල්. පෙරේරා සමඟ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.එම්.එල්. ඩබ්ලිව්. ජයමාන්න මහතා මෙම කාර් රථ නිරීක්ෂණයට එක් වූ බවට ජයවීර මහතා අධිකරණයට දන්වා තිබිණ.

ගැටීමෙන් පසු වාහනය ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බවත් ගැටීමෙන් සිදු වූ අනතුර නිසා හානි වී ඇත්තේ වාහනයේ බෆරය පසින් වූ යට කොටසට හා ඉදිරි කොටසට හා වම්පස රෝද ආරුක්කුවට බැවින් ගැටීම නිසා රියදුරුට ඇතිවිය හැකි බලපෑම ඉතා අල්ප බවට එම වාර්තාවේ සඳහන් ය.

මෙම අනතුර නිසා සුක්කානම ගැලවී යාමට හැකියාවක් නැති බවත් සුක්කානමේ ඉතිරි වී ඇති කොටස් හා ගිනි ගැනීමෙන් ඉතිරි වූ කොටස් පරීක්ෂාවේ දී හමු වූ කොටස් අනුවත් ගිනි ගැනීම නිසා සුක්කානමේ රෝදය විනාශ වී ඇති බවට නිශ්චිතව ප්‍රකාශ කළ හැකි යැයි ජයවීර මහතා එම වාර්තාවෙන් පෙන්වා දී තිබිණ.

මීට අමතරව ගැටීමෙන් හානි වී ඇති ලෝහමය කොටස්වලින් ගිනි ගැනීමක් සිදු විය නොහැකි බවත් ගිනි ගැනීමේ ආරම්භය ව්‍යාප්ත වීම පිළිබඳ නිශ්චිත මතයක් පළ කළ නොහැකි බවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජයවීර මහතා පිටු 6කින් සමන්විත වාර්තාව මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.