FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායටත් CCTV පද්ධතියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 

මේ සඳහා වන යෝජනාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම කැමරා පද්ධතිය වරාය පරිශ්‍රයට ඇතුළුවන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි සවි කිරීමට නියමිතය.

අදාළ ස්ථානවල සිදුවන සියලුම ක්‍රියා නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම යන අරමුණු ඇතිව මෙම කැමරා පද්ධතිය සවි කිරීමට නියමිතය.

මේ හරහා කොළඹ වරායේ ආරක්ෂාව තහවුරුවීම, ඵලදායිතාව හා කොළඹ වරායේ කාර්යක්ෂමතාව ඉහළ යෑම, හා කොළඹ වරායේ වාණිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම සිදුවන බව රජය සඳහන් කරයි.