FAST NEWS

24×7 Around the Globe

සන්ධාන ජාතික ලැයිස්තු පෙත්සමේ වග උත්තරකරුවන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහිව පැවරූ නඩුවට අදාළව වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළේ ය.

එලෙස නොතිසි නිකුත් කෙරුණේ මැතිවරණ කොමසාරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා සන්ධානයට අයත් සියලු පක්ෂවල ලේකම්වරුන්ට ය.

මීට අමතරව නොතීසි නිකුත් කළ සෙසු සාමාජිකයින් අතර මැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලයිස්තු මන්ත්‍රීධුර ලබාගත් මන්ත්‍රීවරු ද වෙති.

සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහිව මෙම පෙත්සම පැවරුවේ මහජන එක්සත් පෙරමුණේ උප සභාපතිවරයකු වන ඩී.ඩී. සෝමවීර චන්ද්‍රසිරි මහතා ය.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා හමුවේ, පෙත්සම විභාගයට ගැනිණ.

පෙත්සම කැඳවීම දෙසැම්බර් මස 11 වන දිනට කල් තැබිණ.

සෝමවීර චන්ද්‍රසිරි මහතා මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියේ සන්ධාන ජාතික ලැයිස්තුවෙන් දැනට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් ඉන් ඉවත් කර ඒ සඳහා තමා පත් කරන ලෙස ය.

මේ අතර ජාතික ලයිස්තුවට එරෙහිව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඩිව්. ගුණසේකර මහතා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබී ය.

ඒ ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ය.

එහිදී වගඋත්තරකරුවන් ‍වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ, මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ හැකි බව ය.

එහෙත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළේ මෙම කාරණය තම සේවා දායකයාට පමණක් අදාළ වූවක් නොවන බව ය.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජනතාවට බලපාන කටයුත්තක් හේතුවෙන් පෙත්සම් විභාගය පංච පුද්ගල හෝ සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ විභාගය ගතයුතු බව ඔවුන් සඳහන් කළේ ය.

එහිදී විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම කිනම් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත යුතු ද යන්න පිළිබඳව අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කළයුතු බව ය.

ඒ අනුව ලබන 29 වන දා දක්වා පෙත්සම සලකා බැලීම කල් දැමිණ.

ඩිව් ගුණසේකර මහතා මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියේ ජාතික ලයිස්තුව ක්‍රියාත්මක කිරීමේ දැනට පවතින ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ඇති පරමාධිපත්‍ය බලය හා ඡන්ද අයිතිය නිසි ලෙස ඉටු නොකෙරෙන බව ය.

ඒ හේතුවෙන් ජනතාවගේ පරමාධිපත්‍යබලයට අනුගත ජාතික ලයිස්තුවක් සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියේ ය.