FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (19) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව භාරදීමට නියමිතයි.

ජනාධිපති කාර්යාලයේදි කොමිසමේ සාමාජිකයන් විසින් එය ජනාධිපතිවරයාට භාරදෙනු ඇත.

පසුගිය සැප්තැම්බර් මස 22 වනදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරිමට මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබුවේය.

මෙම කොමිසමට මහජන පැමිණිලිද 65 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අතර ගතවූ මාස 3 කට ආසන්න කාලය තුළදී පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ කොමිසම ප්‍රකාශ ලබාගෙන තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්. අධිකාරී කටයුතු කරනු ලැබේ.

ලබන වසරේ පෙබරවාරි 20 වනදායින් කොමිසමේ කාලය අවසන් වීමට නියමිතයි.