FAST NEWS

24×7 Around the Globe

මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරි උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

දිවයින පුරා එම කාල සීමාව තුළ සිදුවිය හැකි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අදාළ වැටලීම් උඳුවප් පොහොය දිනයේ සිට ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි මස 05 වනද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන් එම වැටලීම් සිදුකිරීම පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

දිවයින පුරා ඒ සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු අනුයුක්ත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය.

දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන් සහ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට එම මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ වගකීම පවරා දී ඇති බව සඳහන් වේ.

මෙම විශේෂ මෙහෙයුම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර සුරාබදු අපරාධ සම්බන්ධයෙන් වන තොරතුරු 1913 දුරකථන අංකයවෙත යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.