FAST NEWS

24×7 Around the Globe

සිරිපා වන්දනා සමය දෙසැම්බර් 11 වනදා සිට ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ඇරඹේ.

සිරිපා වන්දනා වාරයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. සිරිපා වන්දනා සමය ආරම්භය සනිටුහන් කරමින් අද දින පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථායේ තැන්පත් තර තිබෙන සධාතුක කරඬුව ඇතුළු දේව ප්‍රතිමා වහන්සේ සුබ නැකතින් එළියට වැඩමවා චාරිත්‍රානූකූල තේවාවන් සිදු කරන අතර එදින එම විහාරස්ථානයෙහි සර්වරාත්‍රික පිරිත් දේශනයක් ද පැවැත්වේ.

දෙසැම්බර් 10 වන දින එනම් හෙට දිනයේ අළුයම ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට දේව පෙරහැර හතරක් හැටන්, සිරිපාගම, බලංගොඩ හා එරත්ත මාර්ග ඔස්සේ ශ්‍රිපාදය කරා ගමන් ඇරඹීමට නියමිතය.

රත්නපුර කුරුවිට එරත්ත මාර්ගයෙන්ද බැතිමතුන් විශාල පිරිසක් ගමන් ගන්නා බැවින් සිරිපා වන්දනා ඉතිහාසයේ ප්‍රථම වරට කුරුවිට එරත්ත මාර්ගය ඔස්සේ ද සිරිපා මළුව දක්වා සමන්දේව ප්‍රතිමා වහන්සේ රැගත් නව දේව පෙරහැරක් ගමන් කරනු ඇත.

දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දා පෙරවරුවේ සධාතුක කරඬුව ඇතුළු දේව ප්‍රතිමා වහන්සේ ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර පූජෝපහාර සිදු කර මෙවර සිරිපා සමය ආරම්භ වේ.