FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාපතනයෙන් අනුරාධපුරයේ ප්‍රදේශ කීපයක් යටවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින අයහපත් කාළගුණ තත්ත්වය අද දිනයේත් උතුරු – නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වලට බලපැවැත්වෙන අතර මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

වැසි ඇතිවන අවස්ථාවල දී පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ තද සුළං සමඟ ප්‍රබල අකුණු ද ඇතිවිය හැක.

අයහපත් කාළගුණය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 75 න් 28 ක්ම වාන් දමමින් පවතින අතර , වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න සඳහන් කළේ වාන් දමන ජලාශවලින් එක්වන ජලය හේතුවෙන් මල්වතුඔය, දැදුරුඔය, කිරිඳිඔය, යාන් ඔය සහ මැණික් ගඟ අවට ජීවත් වන ජනතාව ජල මට්ටම් ඉහළ යාමෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබද දැඩි අවදානයෙන් පසුවිය යුතු බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට ඊයේ ඇදහැලුණු අධික වැසිත් සමඟ යාන් ඔය පිටාර ගැලීම නිසා කහටගස්දිගිලිය, හොරොව්පතාන සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙන අතර , මල්වතු ඔය පිටාර ගැලීමෙන්ද ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පවුල් 9175 කට අයත් පුද්ගලයින් 30,838 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටී.