වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරිය වසා දමයි

වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරිය වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වලපනේ – මලපට්ටාව ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයට නුදුරින් පිහිටි ගල් කොරිය පවත්වාගෙන යෑමට නිකුත් කළ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කරයි. 

මෙම නායයෑමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර , මේ හේතුවෙන් වලපනේ – මහනුවර ප්‍රධාන මාර්ගය නාරම්තලාව ප්‍රදේශයෙන් අවහිර කරමින් භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඊයේ (03) සත්‍යග්‍රහයකද නිරත විය.

යළි මෙම ගල් කොරිය ආරම්භ කරන්නේ නම් ඉහළ මට්ටමේ තාක්ෂණික පර්යේෂණයක් සිදුකරන ලෙස භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට තමන් දැනුම්දුන් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මෙම නායයෑමෙන් අතුරුදන්වූ 17 හැවිරිදි සිසුවාගේ සිරුර සොයා දින 03 ක් මෙහෙයුම් සිදුකළ අතර, ඊයේ එම කටයුතු අතහැර දැමුවේ පවුලේ ඥාතීන්ගේ ද ලිඛිත එකඟත්වය මතයි.

ප්‍රදේශයට පවතින අධික වර්ෂව නිසා සෙවීම් කටයුතු සිදු කිරීම ඉතා අපහසු බව නිරීක්ෂණ කටයුතුවල නිරත නිළධාරීන් සදහන්කර සිටියේය.