FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ පුදබිම් වල නාමපුවරු සිංහලෙන් ලියවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.

එරට බෞද්ධ පූජනීය ස්ථානවල නාමපුවරු මේ වනවිට හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර, ඒවා සිංහල භාෂාවෙන්ද ප්‍රදර්ශනය කෙරුණු  ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ අනුව ඉන්දියාවේ තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන අතරින් එම ස්ථානය පිළිබඳ හැඳින්වීමේ සිංහල භාෂා පුවරු සවි කරන ප්‍රථම ස්ථානය සාංචි පුදබිම් බවට පත් වෙනවා.

ඉන්දියාවේ සංස්කෘත හා සංචාරක අමාත්‍ය ප්‍රලාඩ් සින් පටෙල් (Prahlad Singh Patel) මහතා පසුගියදා සාංචි පුදබිම කළ සංචාරයකදී මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව සිංහල නාමපුවරු සවි කරන ලෙස ඉන්දීය පුරා පුරාවිද්‍යා බලධාරීන්ට ඔහු නියෝගය කර තිබුණා.

සාංචි චේතියගිරි විහාරය සහ සාංචි මහාබෝධි සමාගම මගින් සාංචි පුදබිමේ පවත්වන මහාබෝධි මහෝත්සවයට සමගාමීව මෙම සිංහල නාමපුවරු විවෘත කිරීමද පසුගිය සති අන්තයේදී අමාත්‍ය ප්‍රලාඩ් සින් පටෙල්ගේ (Prahlad Singh Patel) ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

හැඳින්වීමේ සහ විස්තර ප්‍රකාශිත පුවරු සිංහල භාෂාවෙන් සවි කරන බව ප්‍රලාඩ් සින් පටෙල්  මහතා පසුගියදා සාංචි පුදබිමේ පැවැති සාකච්ඡාවකින් අතරතුර ප්‍රකාශ කර ඇත.