FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම නිවේදනයේ මෙසේ දැක්වේ,

විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි යැයි ඔවුහු ජනතාවට පවසති. මෙවැනි පුද්ගලයින්ගෙන් ඇතැමෙක් ජනාධිපතිතුමාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කළ අවස්ථා දැන ගැනීමට ඇත.

ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීම ය. පටිපාටියෙන් බැහැරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සඳහා එතුමා පොළඹවා ගැනීමට කවරෙකුට හෝ නොපිළිවන.

එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට කාරුණිකව දැනුම් දෙයි. ජනාධිපතිතුමාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකොට වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගනු ලැබේ.