FAST NEWS

24×7 Around the Globe

ගෑස් අර්බුදය යථාතත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් සමාගම් පවසන ආකාරයට වෙළඳපොලේ පවතින ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති අතර ගෑස් තොග මේ වන විට සමාගම් වෙත ලැබෙමින් පවතියි.

ඉදිරි මාස 3 හමාරක කාලයක් සදහා අවශ්‍ය වන තොග ප්‍රමාණය පවත්වාගෙන යාහැකි බව ගෑස් සමාගම් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගෑස් හිඟය තාවකාලිකව ඇති වූවක් වන අතර ජාත්‍යන්තරව ගෑස් නිකුත් කිරීමේ අඩාල වීමක් සිදුවීම හේතුවෙන් එම තත්ත්වය හටගත් බව ගෑස් සමාගම් , කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා හාපාරි‍භෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර පවතින මිලට වඩා වැඩි මිලකට ගෑස් අලෙවි කළ සහ සඟවා තබා ගත් වෙළඳුන් 31 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන අංකය වෙත හෝ අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල වෙත තවදුරටත් ගෑස් වැඩි මිලට අලෙවි කරන හෝ සඟවාගෙන සිටින වෙළඳුන් සම්බන්ධයෙන් වන තොරතුරු පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව මහජනතාවට පවතියි.