FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ පෙත්සම සලකා බැලීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිලිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද සිට සලකා බැලීමට නියමිතය.

ඒ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර  සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම පෙරවරු 09.30 ට පමණ ආරම්භ වී තිබේ.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන අය විසින්ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශව රැසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරටදී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබාගෙන ඇති බවයි.

එබැවින් එම බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හා පෙත්සම් විභාගය අවසන් වන තුරු එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පසුගිය 30 වන දා මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන් ඔබේසේකර හමුවේ කැදවනු ලැබූවේය.

එහිදී පෙත්සමේ ඇති වැදගත්කම සලකා එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාග කෙරෙන බවට ප්‍රකාශ කෙරුණි.