FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන කොමියුනිස්ට් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති සමීප සබඳතාවය, දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමටත්, ශක්තිමත් කිරීමටත් පාදක වූ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික සහ චොංඡිං නාගරිකයේ කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් චෙන් මිනර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

චීන කෙමියුනිස්ට් පක්‍ෂයේ හා කොමියුනිස්ට් පක්‍ෂ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් අද (18) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමු විය.

ශ්‍රී ලාංකේය ජනතාව වෙත චීන ජනතාවගේ සහෘද සුබ පැතුම් එහිදී පිරිනැමිණ.

ජනාධිපති ෂි ජින් පිං ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ‘එක් මාවතක් – එක් තීරයක්’ වැඩ පිළිවෙලෙහි සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අගය කළ චෙන් මිනර් මහතා කාර්මික හා කෘෂි කාර්මික නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය කිරීම සඳහා චොංඡිං නාගරිකයේ ආයතන සූදානමින් සිටින බව ද පැවසීය.

චොංඡිං නාගරිකය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කරලීමේ අවකාශයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ගෝලීය ආර්ථික බලය ආසියාව වෙත කේන්ද්‍රවෙමින් පවතින බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අනාගත ආසියානු අභියෝග පිළිබඳව සැලකිල්ලෙන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේය. ඉන්දීය සාගර කලාපය ආසන්න රටවල් ජනගහන හා ආර්ථික දෙඅංශයන්ගෙන්ම වැඩි වර්ධනයක් පෙන්වමින් සිටින බැවින්, එකී කලාපීය රටවල වෙළඳපොළ අවශ්‍යතා සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගර කලාපයේ තිරසර සාමය ස්ථාවර කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, එක්සත් ජාතික පක්‍ෂ යොවුන් පෙරමුණු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කළහ.