FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ත්‍රස්ත ක්‍රියා මර්ධනයට ජපානයෙන් උපකරණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය හා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වෙත ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන උපකරණ ජපාන රජය විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.6 ක ව්‍යාපෘති නොවන ප්‍රදාන යටතේ ලබා දීමට එකඟතාවය ලබා දී තිබේ.

අද(12) දින ඉහත ප්‍රදාන ආධාරය සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේදී සිදු කරනු ලැබිය.

ඒ අනුව ජපාන රජය විසින් මහජන ආරක්ෂාව සහ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය වන නිරීක්ෂණ හා ආවේක්ෂණ උපකරණ ශ්‍රී ලංකා පොලීසිය වෙත සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත රාජ්‍ය ආරක්ෂක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ හරහා ලබා දෙනු ඇත.

ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ ශ්‍රි ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් ඉහත හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබා ඇත.