(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තිය සමිති 17 ක සමාජිකයින් අද (04) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සදහන් කරයි.
මේ හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය, ආයුර්වේද, සැලසුම් කළමනාකරණය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, දේශීය ආදායම්, කෘෂිකර්ම සේවයේ කටයුතු, විද්‍යාත්මක සේවාවන්, ඉන්ජිනේරු සේවාවන් ඇතුළු සේවා රැසක කටයුතුවලට බලපෑම් එල්ල වන බව ද එම කමිටුවේ ලේකම් එච්. එල්. උදයසිරි මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ ගැටලු පිළිබඳ කිසිදු වෘත්තිය සමිතියක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවත් , ඕනෑම මොහොතක සාකච්ඡා සඳහා අවස්ථාව ලබාදීමට සූදානම් බවත්ය.
මේ අතර අතිරේකදීමනා ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සංවර්ධන නිලධාරීන් එක්දින වැඩවර්ජනයක නිරත වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.








