අල්ලස් හෝ දූෂණ චෝදනා, මැතිවරණ, රාජ්‍ය සේවා ඇතුළු ස්වාධීන කොමිෂන් සභා දහයක් ඉදිරි දින දහතුන තුළ ස්ථාපිත කිරීමට අටවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඊයේ (10 දා) ඒකමතිකව තීරණය කර ඇත.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරි දිනවලදී ස්ථාපිත කෙරේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක නිල මැදිරියේදී ව්‍යවස්ථාදායක සභාවේ මංගල රැස්වීම ඊයේ පැවැත්විණි.
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන ලදී. ඒ අනුව ඊට නිල බලයෙන් පත්වන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත්වූ ඇමැති පාඨලී චම්පික රණවක, අගමැතිවරයාගේ නියෝජිතයා වන ඇමැති විජයදාස රාජපක්ෂ, විපක්ෂ නායකවරයාගේ නියෝජිතවරයා වන ඇමැති ඩබ්ලිව් ඩී. ඡේ. සෙනෙවිරත්න යන මහත්වරු ඊයේ රැස්වීමට සහභාගි වූහ.
සිවිල් සමාජය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන ආචාර්ය ඒ. ටී. ආරියරත්න, හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි යන අයගේ නම්ද මෙහිදී අනුමැතිය සඳහා යෝජනා විය.
මෙම සිවිල් නියෝජිතයන් අනුමත කිරීම 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරේ.
මෙම ව්‍යවස්ථාදායක සභාව විසින් ඉහත ස්වාධීන කොමිෂන් සභා පත්කළ යුතුවේ. මේ අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා වන සියලුම නම් මෙම 21 දාට පෙර පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂ නායකයන්ගෙන්, වෘත්තීය හා සිවිල් සංවිධානවලින් ලබා ගැනීමටද ඊයේ රැස්වීමේදී තීරණය වී ඇත.
ව්‍යවස්ථාදායක සභාව යළි මෙම 21 හා 23 යන දිනවල රැස්වීමට තීරණය කර ඇත.







