FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බ් හිමිපාණන්ගේ පැසසුමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවට පැමිණ සිටින කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක් විය. 

ඉමහත් ගෞරවයෙන් යුතුව අගරදගුරු හිමිපාණන් වහන්සේ පිළිගත් ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය රටට ආශිර්වාදයක් බව සඳහන් කළ අතර ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙත සිය ස්තූතිය පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිතුමා සහ අගරදගුරු හිමිපාණන් වහන්සේ ඉතා සමීප සහ මිත්‍රශීලි සංවාදයක නිරත වූ අතර, රටේ සියලු ආගමිකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය ගොඩනඟමින් සහ සියලු ආගමිකයන්ගේ වරප්‍රසාද සහතික කරමින් ජනපති ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේ ඇගයීමට ලක් කළහ.

මෙම සුහද කතා බහෙන් අනතුරුව අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණන් ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාදය පළ කළ අතර, හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.