FAST NEWS

24×7 Around the Globe

අද (30) මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –    කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) ක්‍රියාත්මක වෙයි.  

පෙරවරු 7.00 සිට 9.00 දක්වාත් පස්වරු 4.00 සිට 6.00 දක්වාත් එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන අතර , හෙට (31) සිට ලබන මස 10 වනදා දක්වා කාලය තුළ මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහි පෙරහුරුවක් ලෙස අද එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකවන බව පොලිසිය පවසයි.

ඒ අනුව , මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දෙස සිට වැල්ලවත්ත දෙසට ගමන්කිරීමේදී පැල්මයිරා මාර්ගය ඔස්සේ ගාලු පාරට අවතීර්ණ වියයුතු අතර , මුහුදුබඩ මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන රථවාහන වැල්ලවත්ත දුම්රිය ස්ථානයත් බම්බලපිටිය දුම්රිය ස්ථානයත් අතර ඇති හේග් පාර ඔස්සේ ගාලු පාරට ගමන්කළ යුතු වෙයි.

ගාල්ල දෙස සිට කොළඹට ඇතුල්වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස රත්මලාන අත්තිඩිය මාර්ගය ඔස්සේ පැපිලියාන මංසන්ධිය හරහා කොහුවලට පැමිණ කොළඹට ඇතුල් විය හැක.

එසේම මාර්ග තදබදය අවම කරගැනීම සඳහා දෙහිවල ගුවන් පාලම අසලින් නැදිමාල දෙසට පැමිණ පැපිලියාන ඔස්සේ කොළඹට පැමිණිය හැකි බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.