(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවැරදි ආහාර පුරුදුවලට දරුවන් යොමු කළ හැකි අයුරින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.
පාසල් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීන ව සිදුකළ අධ්‍යයන තුළින් අනාවරණය වී ඇත්තේ ඔවුන් විවිධ පෝෂණ ගැටළුවලට ගොදුරු වී සිටින බවයි.
එමෙන් ම කෘෂ බව, ස්ථුලතාව, මිටි බව, අධිබර, වැනි පෝෂණ ගැටළු රැසකට දරුවන් ගොදුරුවීමට ද, ඒ නිසා හෘද රෝග, දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග සහ දන්ත රෝග වැනි වෙනත් ආබාධ වැළඳීමේ අවදානමකට දරුවන් ලක්වීමට ද වැරදි ආහාර පුරුදු බලපා ඇති බව හෙළි වී තිබේ.
මේ සඳහා දරුවන් වැරදි ආහාර පුරුදුවලට හුරුව සිටීම මීට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස තහවුරු වී ඇත.
ඒ අනුව පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චක්‍රලේඛය මේ වනවිටත් සියලු පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය අනුව, සියලු පාසල් ආපන ශාලා ක්ෂණික ආහාර, හා කාබනීකෘත බීම වෙනුවට ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුව නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය කෙරෙන ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් යුත් ආහාර ලබාදීමට සහතික විය යුතු අතර සාධාරණ මිළ ගණන් යටතේ දරුවන්ට එම ආහාර ලබාගැනීමේ අවස්ථාව ද සැලසිය යුතු බවට නියම කර ඇත.








