(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලුම ළමා නිවාසවල දරුවන්ට ද ආසන්නත ම ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය තහවුරු කරමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
එමෙන් ම එසේ ඇතුළත් කරගන්නා දරුවන්ට ද සෙසු දරුවන්ට මෙන් සමානත්වයෙන් සැලකීමට පියවරගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.
ඒ අනුව, රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන්ට ළඟම පිහිටි ජාතික පාසලට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2019-07-31 දිනැති අංක 38/2019 දරන චක්‍රලේඛය මගින් සියලු ම ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.
ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන් අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත් කිරීමේ දී අදාළ ළමා නිවාසයේ භාරකරු විසින් යොමුකරන ලද අයදුම්පත පරීක්ෂා කර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පාසලට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතු බවට ද මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.
ඒ අනුව අදාළ ඉල්ලුම් පත් යොමුකිරීම ළමා නිවාසයේ භාරකරුට පැවරේ.
එම භාරකරුවන්ට ස්වකීය ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගත අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.








