(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හෙට (27) දිනයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිෂන් සභාවට කැදවා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සදහා කරුණු විමසීමට බවයි වාර්තා වන්නේ.
අදාල ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සදහා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට කොමිසම හමුවේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුලත් කරුණු හා ඊට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.








