FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවෙන් ගිය ත්‍රස්තවාදීන් හේතුවෙන් තමිල්නාඩුවට දැඩි ආරක්ෂාව

 

(ෆාස්ට් නිවුස් |කොළඹ) – ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් පිළිබඳ බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමකට අනුව,තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ලෙහිම ආරක්ෂාව දැඩි කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේ – ලෂ්කාර් ඉ ටොයිබා නම් සංවිධානයකට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමක් තමිල්නාඩුවට ඇතුළුව ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙලෙස මුහුදු මාර්ග ඔස්සේ පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික, දමිළ මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයින් 05 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවේ – කොයිම්බතූර් ඇතුළු විවිධ නගරවලට සංක්‍රමණය වී ඇති බව අදාල බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබේ.

ඒ හේතුවෙන් තමිල්නාඩුවේ ගුවන්තොටුපලවල, දුම්රිය ස්ථාන, බස් නැවතුම් හා ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව දැඩි කර ඇති අතර කොයිම්බතූර් ප්‍රදේශයේ මාර්ග බාධක වැඩි කර සියලුම ප්‍රදේශවල රථ වාහන ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බව විදෙස් ආරංචි මාර්ග තවදුරටත් පවසයි.